Tuesday, March 4, 2014

ලිව්වේ බඩී වෙලාව 1:01 AM | 38 comments

අනුත්තරා නංගි ...........

“අනු නංගි තාත්තාගේ මිනිය දැකල, සිහිය නැති වෙලා. අනේ ගිහින් බලන්න අක්කේ”. සුදු නංගි එක පිම්මට මගේ කාමරේ ඇතුළට ඇවිත් හුස්මක් කටක් ගන්නේවත් නැතිව කියද්දි, මට හිතාගන්න බැරි උනා මොනව කියන්නද කියල. 

අනුත්තරා, එහෙම නැත්තම් අපේ අනු...

හ්ම්... එයා පුංචිම කාලේ එයාගේ වැදු අම්මයි හැදු තාත්තයි එයාට හරියට වෙනස්කම් කලා. උසාවියෙන් කෙල්ලව ළමාරක්ෂක එහෙකට දිලා, එහෙන් තමා අපේ ගාවට ආවේ. අපේ ගාවට කිව්වට එයා ආවේ ලොකු තාත්තා ගාවට, එත් ඉතිං අනික් අතට ලොකු තාත්ත 'අපේ' නේ? ඉතිං අනු නංගිත් අපේම උනා. අපේ ලොකු තාත්තට ළමයි හිටියේ නැහැ. උසාවියෙන් ලියකියවිලි හදාගෙන අනුත්තරා නංගියව ගෙදර එක්ක එනකොටත් එයාගේ පුංචි කකුල් දෙක ගිනිපෙනෙල්ලකින් පුච්චල දාපු ලකුණු තිබ්බ. අත් දෙක පුරා කැපුණු සලකුණු. ඇහැට උඩිනුත් කැපුමක්. කෙල්ලට වයස අවුරුදු 8ක් වගේ ඇති. ඇඟ හැම තැනම තුවාල කැලැල්. දරුවෙක්ට දෙන්න පුළුවන් හැම වද හිංසාවක්ම එයාට දීලා.


ලොකු තාත්තාටයි නැන්දටයි, මහ ලොකු සල්ලියක් නොතිබ්බා උනත්, එයාල අනු නංගියව බලාගත්තේ හරිම ආදරෙන්. එත් පුංචි කාලේ ඉඳන්ම පවුලේ අනික් අය එයාට කළේ වෙනස්කම්. පොඩිකමට මයුරි නංගි පහේ පංතියෙ ඉද්දි උනත් ඇවිත් කිව්වේ, “අවුරුද්දට එනකොට එයාට තෑගි ගෙන්න එපා අක්කේ, එයා අපේ ලේ නෙවිනේ” කියල. අපේ ලේ... ලේ වල එහෙමත් වර්ගයක් තියෙනවා කියල මං දැන ගත්තේ එදා... ඒ අපේය කියපු ලේ කුලකෙට අයිති නොවුනත්, මොකක්ම හරි පෙර පුරුදුකමකට වගේ මගේ ආදරේ වැඩි පංගුව අයිති උනේ අනුට. කොළඹ අක්කා වෙච්ච මගේ අතින් අල්ලගෙන, හුරතල් වෙන්න පොරකාපු ගමේ නංගිලා දිහා අනු නංගි ඈත ඉඳන් බලන් හිටියේ, හරියට ඒ ආදරේට අයිතිවාසිකම් කියන්න එයාට බැරිවා වගේයි. ඒ හින්දමද කොහෙද ගමේ ගියාම, මගේ නංගි කියල වැඩිපුරම ආදරෙන් ළං කරගත්තේත් එයාව. හැම අවුරුද්දකටම අනික් අයට හොරෙන් වැඩිපුර දෙයක්, නැත්තම් පුංචි අරුමෝසම් බඩුවක් හරි එයා වෙනුවෙන් ගන්න මං කවදාවත් අමතක කළේ නැහැ.

අලුත්ම දෙයක් නැතත්, පරණ, ඇඳපු ඇඳුමක් ගෙනත් දුන්නත් එයාට සතුටුයි. පාරේ ඇවිදිනකොට පිපිලා තියෙන කැලෑ මලක් දිහා බලල සතුටු වෙන්න පුළුවන්, ගස් අස්සෙන් ඇහෙන කුරුලු කිචි බිචියකින් සිංදුවක් හදාගන්න පුළුවන් ලස්සන අහිංසක හිතක් එයාට තිබ්බේ. අනික් හැමෝම අරක අරන් එන්න මේක අරන් එන්න කියද්දි කවදාවත්, එයාට ඕනෙම කරන දෙයක්වත් ඉල්ලලා නැහැ. ලොකු ළමයෙක් උන දවසේ, එයාට උත්සවයක් තිබ්බෙත් නැහැ. දිය නෑව්වේ අපේ කිරි අම්මා. පස්සේ පුළුවන් විදිහට චූටිම චුටි කරාබු දෙකක් ගෙනත් දුන්නා මං. කෙල්ලගෙ කන පාලුවට තියන්න දුක නිසා.


කෙල්ල අ.පො.ස සාමාන්‍ය පෙළ කළාට මොකො ගණන් පාස් වෙන්න බැරි උනා. එයාලගේ ඉස්කෝලේ ගණන් වලට, ඉංග්‍රිසි වලට ගුරුවරු නැහැ. ඉස්කෝලයක් කිව්වට, ඒක ටකරං මඩු ගොඩක්. ඉස්සරම නම් පොල් අතුලු... ඒ කිව්වේ අපේ තාත්තලගෙ කාලේ. දැන් ටිකක් හොඳයි. ඉතිං පුළුවන් අය අමතර පංති වලට යනවා. බැරි අය... ඒ වගේ දුෂ්කර ගමක ඉන්න බැරි අයට ඉතිං දෙවි පිහිටයි තමා. මට ඕවා කිව්වෙත් බලෙන්ම ඇහුවම. ඒ කාලේ වෙද්දිත් තමන්ගේ ප්‍රශ්න එක්කො තනියෙම විසඳ ගන්න හරි ඉවසල විඳදරා ගන්න හරි එයා පුරුදු වෙලා හිටිය නිසා වෙන්නැති ඒ. මං එයාට සල්ලි දිලා, එත් එක්කම ලියුමක් යැව්වා. නංගි ආයේම විභාගේ කරන්න. මං හැම මාසේම ඔයාට සල්ලි එවන්නම් අමතර පංති වලට කියල. එත් එයා මට ලියල එව්වා, අක්කේ මගේ තාත්තා ගොඩාක් දුක් විඳිනවා මට කන්න අඳින්න දෙන්න, මට බැහැ තවත් එයාට කරදර කරන්න, මං ඒ නිසා ගාමන්ට් එහෙක වැඩ කරන්න ගත්තා කියල.

ජනවාරි මාසේ උපන් නිසා, එයාට යන්තම් 16ක් උනා විතරයි. ගාමන්ට් එකත් සෑහෙන්න දුරයි, මේ ළමය මගටම දිය වෙලා යාවි. අනික ගාමන්ට් එකක, එහෙමත් නැත්තම් ඇඟලුම් කම්හලක සේවය කරන කෙල්ලෝ ගැන ඇහෙන කතා... අනේ මන්ද. ඔයාගේ කැමැත්තක් කියල ලියල යැව්වේ, ඊට එහා මට කියන්න දෙයක් නැති නිසා. අනික් නෑදෑයෝ අතරත් ගිය කසු කුසුව එච්චරම හොඳ එකක් නෙවි... පවුලේ කවුරුත් නොකළ වැඩක්. අවනම්බුවක්... ඔහොමයි එයාල කිව්වේ. කවුරු මොනවා කිව්වත් අනු නංගි වැඩට ගියා. උදේ මහ පාන්දර ගිහින්, රෑ වෙලා ආවා. හම්බ කරන සල්ලි එකතු කලා, අම්මවයි තාත්තාවයි බලාගත්තා. ටිකෙන් ටික නෑයන්ගේ හිත්වල තිබුන කුණු නැති වෙලා ගියා. ලේ වෙනස් නේ කිව්ව අයම, මේ සුට්ටන් කෙල්ලගේ හිතේ තියෙන හයිය ගැන කතා කලා.

ඒ වයසේ, එහෙම දුකක් විඳපු අනික් ගමේ කෙල්ලෝ, තියෙන හොඳම විදිහ විදිහ හැටියට සලකල කොල්ලො එක්ක පැනල යද්දි, අනු, අල බතල කාල හරි වැඩට ගියා. අවුරුදු 21 වෙද්දි, එයා අවුරුදු පහක් රස්සාව කරල. අන්තිමට කෙල්ලට කොල්ලෙක් හම්බ උනා. ඉස්සර කියවපු පොත් වල උන්නා වගේ කුමාරයෙක් නම් නෙවි, එයා වගේම කෙනෙක්. “සල්ලි නම් නැහැ අක්කේ එත් හරිම හොඳයි”... එහෙමයි එයා මට අමිල මල්ලි ගැන කිව්වේ. “අක්කේ, අපිට මඟුලක් කන්න තරම් සල්ලි නැහැ. අපි මේ මාසේ රෙජිස්ටර් වෙනවා”.  ඒ ඉන් පස්සේ ආපු පණිවිඩය. ආයේ කියන්නත් දෙයක්ද, මගේ ආශිර්වාදය එයාට දුන්නා. "හොඳ දෙයක් කරන්න රත්තරං".

මාස දෙකකට විතර කළියෙන් ත්‍රීවීල් එහෙක අම්මයි නැන්දම්මයි එක්ක ටවුන් එකට ගිහින් විවාහය ලියාපදිංචි කරගෙන ඇවිත් දෙන්නාම පදිංචි උනෙත් ලොකු තාත්තල එක්කමයි. කොහොමත් ලොකු තාත්තාගේ පණ දෝනි. දූ නැතිව කන්නේවත් නැහැ. දූටත් එහෙමයි. අනික අමිල මල්ලිට වෙනම ගිහිං පදිංචි වෙන්න තරම් වත්කමක් තිබ්බෙත් නැහැ. මයුරි නංගි කෙටි පණිවිඩයක් එවලා කිව්වා, කෙල්ල මඟුලට ඇන්දේත් රෝස පාට නිකම්ම නිකම් සාරියක් කියල. රත්තරං තියා, රිදීයෙන්වත් මුද්දක් ගන්න වත්කමක් නැති නිසා, දෙන්නම පාරේ අයිනේ 50/-ට විකුණන්න තියෙන මුදු දෙකක් දාගෙන.

හිතාගන්න බැහැ... ගැනු ළමයෙක් හැටියට එයා මොන හීන දකින්න ඇද්ද එයාගේ විවාහ උත්සවය ගැන.... හ්ම්...


ඉඩකඩ නැතත්, ආදරෙන් පිරුණු පුංචි පවුලක්. රෑ කෑම එක හතර දෙනාම කෑවේත් එකට. අලුත් ජොඩුව රෑ වෙලා ගෙදර එද්දි, ලොකු තාත්තා වතුර උණු කරල තියෙනවා. මේ දවස් වල සීතල නිසා, නංගි අසනීප වෙයි කියල. එච්චරටම ආදරෙයි. ලොකු තාත්තට හරියට ඕනකමක් තිබ්බා, මුණුබුරෙක්ගේ හරි මිණිබිරියකගේ හරි මූණ බලන්න. එත් අවාසනාවකට වගේ එයාට සදහටම මේ ලෝකෙන් යන්න උනා. අපි කවුරුවත්ම නොහිතපු වේලාවක, හදිසියෙන්ම. "අක්කේ, ලොකු තාත්තා නැති වෙලා" කෙටි පණිවිඩය මයුරි නංගිගෙන් ලැබුණු ගමන් අපි හැමෝම ගමට ගියා. ඒ වෙනකොටත් ඉතිං වෙන්න ඕන හැමදෙයක්ම වෙලා ඉවරයි. හැමෝම කිව්වේ ලොකු තාත්තා ගෙනාව ආයුෂ ඉවර ඇති කියල. කාටවත් කරදරයක් නොකරපු, හැමෝගෙම ආදර ගෞරව ලබපු අහිංසක මනුස්සයෙක් ලෝකෙන් යන්න ම යන්න ගිහින්.

.
.
.

හිනෙකින් වගේ පහු ගිය කාලේ මතක් වෙද්දිම, සුදු නංගි මගේ අතෙන් ඇදගෙන එළියට දිව්වා.
“අනේ අක්කේ මගේ රත්තරන් තාත්තා ආයේ ගෙදර එන්නෙ නැහැලු”........ අනු නංගි අඬාගෙනම මගේ උරහිසට වාරු උනා.




Categories:

38 comments:

  1. සංවේදියි... මේක ඇත්ත කතාවක් හරි සත්‍යාසන්න කතාවක් හරි වෙන්න ඕනේ...

    වචන ගලපන විදිය නම් නියමයි....

    ReplyDelete
    Replies
    1. ස්තුති කියෙව්වට :) සත්‍යාසන්න සිදුවීමක් :)

      Delete

  2. හ්ම්ම්ම් ඔවා ඔහොම තමයි ,කගෙත් ජිවිත ඔහොමයි
    ලියලා තියෙන විදිහ හොදයි

    ReplyDelete
    Replies
    1. ඔව්.... කාගෙත් ජිවිත වල ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නෙන් පැනල යනවට වඩා, ප්‍රශ්න වලට මුහුණ දෙන අය අඩුයි :)

      Delete
  3. ඇත්ත කතාවක් නම් මට අහන්න තියෙන්නෙ “ඇයි මේ වගේ අයට ම මෙහෙම වෙන්නෙ?“ කියල... එෆ් බී නිසා මැරෙන මැටිමෝල් කෙල්ලො ඉන්න රටේ මේ වගේ කෙල්ලො ඉන්නව ද කියල ත් පුදුමයි...
    ප්‍රබන්ධයක් නම් කියන්න තියෙන්නෙ උත්කෘෂ්ට යි කියල.. ලස්සන, හිතට වදින ලිවීම් රටාවක්..කථන බස යොදාගැනීම හොඳ ට කරල තියෙනව..
    විශිෂ්ට යි...අප‍ේ බඩීට මල් වැස්සක්!!!

    ReplyDelete
    Replies
    1. ආසන්නයටම ඇත්ත කතාවක් තමා :) ස්තුති.....

      Delete
  4. කියන්න වදන් නෑ..... ඒ තරං විශිෂ්ටයි...
    හිත හයියයි නං හොදයි නං මේ ලෝකෙ පය ගහල ඉන්න සොබාදහම නිරුත්සාහයෙන් උදව් කරනව...
    සංවේදී කතාවක් බඩියො

    ReplyDelete
    Replies
    1. හොඳ අයට කවමදාකවත් වරදින්නේ නෑල්ලුනේ? :)

      Delete
    2. අනිවා... කව්රු නමුත් උදව් කරනව

      Delete
  5. අයියෝ....! හැඟුම්බර කතාවක සාර්ථක අවසානයක් ....හොම්ගේම ජීවිත් වල මේ හා සමාන අත්දැකීම් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වේලාවට ඔව්... ජිවිතේ හැටි නේ ඉතිං :( ස්තුති ආවට හොඳද? :)

      Delete
  6. හ්ම්ම්. කියාගන්න බැරි ත‍රම් සංවේදී කතාවක් බඩී. හිතා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්...... ජිවිතේ හැටි තමයි. :( ඔය ඒක කතාවක්... හිත හයිය කෙනෙක්ගේ.

      Delete
  7. මේ පැත්තට ගොඩවුන පළවෙනි දවසෙම හිතට වදින නියම කතාවක්.. ලියලා තියෙන විදිහත් උපරිමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුති දිනෙශ්... මේ පැත්තේ ආවට, වගේම කියෙව්වටත් :) ආයෙමත් එන්න.

      Delete
  8. පලවෙනි පෝස්ට් එකට කමෙන්ට් එකක් දාල මේකේ කමෙන්ට් බොක්ස් එක හිස්ව තියලා යන්න මොකද්දෝ වගේ හිතුනා.
    හරිම අපූරුවට සිද්ධි ටික පෙළ ගස්සවලා තියනවා. විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. ස්තුති :) කොමෙන්ට් එකක් දාල යන එක කොයි තරම් දෙයක්ද :)

      Delete
  9. ඒක වලක්වන්න බැරි එක තමා පුරස්නේ.. මං කිව්වේ යන එක..

    ReplyDelete
    Replies
    1. යන එක ඉතිං වලක්වන්න බැහැ නෙව. ආව නම් යන්න ඕන. ආයේ නෑවිත් ඉන්න යන්න පුළුවන් නම්... වටිනව :)

      Delete
  10. නියමයි ලස්සනයි ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති කියෙව්වට අයියා :)

      Delete
  11. මෙච්චර කාලයක් ඔයා ලියපු කතා වලින් කියවපු හොඳම කතාව තමයි මේ.. අනූ ගැන ලියල තියෙන ප්‍රමාණෙ ටිකක්ක් උනත් ඒ ටික හොඳටම ඇති ගොඩක් දේවල් හිතන්න​..
    දිගටම ලියන්න​, ඊලඟ කතාව මීටත් වඩා හොඳ එකක් වේවි :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුති... තවත් ලියලම බලන්න ඕන :)

      Delete
  12. මේ වගේ අයත් ලෝකේ ඉන්නවා කියලා ගොඩක් අය දන්නේ නෑ...... එයාල ඒ හැම දෙයක්ම විඳගෙන, නිහඬවම ලෝකෙන් යනවා..... ඔයා හිතට දැනෙන්න කතාව පෙළ ගස්වලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අය ගොඩාක් නිහඬයි. ඒ නිසා වෙන්නැති කවුරුත්ම දන්නේ නැත්තේ... ස්තුති ආවට මැළේ රාලේ :)

      Delete
  13. මටත් හිතුනා ඇත්ත කතාවක්දෝ කියලා..මම දන්නෑනෙ බඩියට මෙහෙම ලියන්න පුළුවන් කියල.ලස්සනයි බඩියො...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් තුදු :(

      Delete
  14. හ්ම්.... විශිෂ්ටයි... මං කියවපු දිගේ හොදම කතාව

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තුති.... අදහස් ටික වටිනවා සේරටම වඩා :)

      Delete
  15. වෙනස් අත්දැකීමක්.. එදිනෙදා කතා වහර ලස්සනට පාවිච්චි කරලා තියෙනවා. කම්මැලිකමක් නැතුව කියෙව්වා. එළ!

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් ආවා ;)

      Delete
  16. හොඳ තේරුමක් තියෙන, ලස්සනට ගැලපුව කතාවක්.
    මේ කතාව මම ලිව්ව නම් මුල ඡේදය මං පටන් ගන්නෙ මෙහෙම​

    මගේ හදවත ස්පන්ධනය වෙන හඬ මටම ඇහෙන තරමට තදින් ගැහෙද්දි මොහොතකට කලින් සුදු නංගි කියපු වචන ටික ආයෙමත් සැරයක් කන් ඇතුලෙ දෝංකාර දුන්නා.
    “අනු නංගි තාත්තාගේ මිනිය දැකල, සිහිය නැති වෙලා. අනේ ගිහින් බලන්න අක්කේ”.

    තව කතා ලියන්න සුභ පතනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුති..... ඒ විදිහ වඩාත් හොඳයි වගේ. ටිකක් ඒක ගැනත් හිතල බලන්න ඕන :)

      Delete
  17. ලෙසටම ලියා ඇත බුඩිස් ! සුපිරි ලොවෙත් !

    ReplyDelete
    Replies
    1. ස්තුති සිංදු... ආයේම එන්න මේ පැත්තේ :)

      Delete
  18. මෙන්න මෙයා බොගකුත් පටන් අරං. එල ඈ..... කමෙන්ට් එක TLR එකේ දැම්ම

    ReplyDelete
    Replies
    1. අලේ...... ගොඩාක්ම ගොඩාක් සතුටුයි ආවට මේ පැත්තේ. :) අවංකවම...

      Delete